Sunday, February 14, 2010

ආදරය මාකට් කිරීම හෙවත් වැලේ වැල් නැති කරන වැලන්ටයින්.

අද වැලන්ටයින් සාමිවවරයා සිහි කරන දිනයයි.

නරක
ඉතිහාසය කෙසේ වුවත් අද වැලන්ටයින් යන්නෙහි අරුත මුදලාලිලා විසින් මේ නම විකුණා විශාල ආදායමක් ලැබීමයි. අද මේ දිනයට පෙම්වතා පෙම්තියට තෑග්ගක් ලබා දීම අනිවාර්යය වේ. ජන මාධ්‍ය මේ සඳහා විශාල ප්‍රචාරයක් ලබා දෙමින් තමන්ගේ මල්ල පුරවා ගැනීමේ බලු පොරයේ පොර කති. කොල්ලා විසින් කෙල්ලටත් කෙල්ල විසින් කොල්ලාටත් තෑගි දිය යුතුය. අලුත් ඇඳුම් පැළඳුම් ගත යුතුය. කොල්ලා විසින් කෙල්ලට බරටම තෑගි දෙන තරමට ආදරය වැඩිය. නැත්නම් ආදරය අඩුය. ඉතින් එදාට තෑගි ගන්නට මාස ගණනක සිට මුදල් ඉතිරි කරයි. සමහර වෙස්සනතර කොල්ලන් කෙල්ලගේ අම්මාට මල්ලීට යනාදී අයටත් තෑගි දෙති. මෙම අදහස් තරුණ පරපුරේ සිත් තුළ ඇති කරවන තරමට වෙළෙන්දන්ට හොඳය වාසිය. මේ වෙනුවෙන් මාස ගණනක සිට වෙළඳ සැල් වෙනම සූදානම් වෙති. ඒ සඳහා දිරි ගන්වන්නට ජනමාධ්‍ය සැදී පැහැදී සිටිති. අද ආදරයත් වෙළඳ භාණ්ඩයක් වී ඇත. එනම් ආදරය මාකට් කරති. මෙය ආදරයේ අභාග්‍යය නොව. අපේ සිත අපට පාලනය කර ගත නොහැකි කමයි.

හොඳ
මගේ මව පියා පෙම්වතුන් ලෙස සිටියෝ වෙති. ඔව්න්ගේ ප්‍රේමය නිසා සිදු වූ විවාහයෙන් අද මා ඉපදී ඇත. සමාජයක පැවැත්ම සදහා වූ මිනිසෙකුගෙන් විය යුතු යුතුකම ව‍න්නේ තම ප්‍රජාව ජනනය කිරීම හෙවත් ප්‍රජනනයි. මෙය වූ කලී ආදරයේ අග්‍ර ඵලයයි. අපට බුදු වරයෙකු පහළ වූයේ සුද්ධෝන රජු හා මහාමායා දේවිය එම යුතුකම මැනවින් ඉටු කළ බැවිනි. මෙවන් උතුම් ඵළ දරන ආදරයක් වෙනුවෙන් වෙනම දිනයක් තිබීම කෙතරම් අගනේද. තම ආදරය සැමරීමට, සල්ලි හොයන්නටම දවස් 365 ම කඩි වගේ දුවන අපිට එයින් එක් දිනයක් තිබීම කොතරම් වටිනවාද. ඇල් මැරුණු ආදරයක් නැවත අලුත් කර ගන්නට හොඳ දවසක් ‍නොවේද. හැමදාම දෙන හාදුවට වඩා අද දින හාදුවක් දීල මම ඔයාට ගොඩක් ආදරෙයි රත්තරන් කියන්න හොඳ දවසක්. හවසට පන්සල් හරි පල්ලි හරි යන්නත් නරකම නෑ.
මේ මගෙ අදහස. මේ ගැන ඔබේ අදහසත් ප්‍රතිචාරයක් විදියට දෙන්න. හැම දෙනාටම ආදරනීය දවසක්.

1 comment:

  1. මමත් ආදරය කරනවා. ඒත් අපි වැලන්ටයින් සමරන්නේ නෑ.. දෙන්නා අතරේ ආදරයේ අඩුවකුත් නෑ.

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.