Friday, September 17, 2010

මුන්නේෂ්වර්ම් දෙවියෝ බංකොළොත්ද?

පසුගිය දිනවල හලාවත මුන්නේෂ්වරම් දේවාලයේ මංගල්‍යය නම් වූ වෙළද ව්‍යාපාරය ජයටම කෙරින. මා හටද හතර වරක්ම එහි යාමට සිදු විය.
     ලංකාවේ මිනිසුන් විවිධ ආගම් අදහති. ඒ අතරේ සමහරුන් බෞද්ධ දර්ශනයද අදහති. මුන්නේශවරම් ගිය ගමනේදී දක්නට ලැබූ දේවල්නම් නොලියාම බැරිය. වාහනයකින් එහි යන විට රථ ගාල් හිමියෝ පාරට පැන තමන්ගේ රථ ගාලට වාහනය ඇතුල් කර ගැනීම සදහා නොකියනා බොරුවක් නොමැත. මෝටර් සයිකලයක හො පයින් යන විට “ඉස්සරහින් දේවාලෙ වහල තියෙන්නේ මේ පැත්තෙන් යන්න‘‘ යයි කියති. දේවාලය වසා නැත. ඔවුන්ගේ කඩ පෙළවල් ඉදිරියෙන් මිනිසුන්ව යැවීමට එසේ කරති. පූජා වට්ටියක් ගන්නට යන විට රු 100/- සිට ඉහළට මිළ ගණන් යටතේ ඒවා ඇත. වට්ටියටත් සමගම මුදල් අය කළත් වට්ටිය නැවත ඔව්න්ට ගෙනැවිත් දිය යුතුය. තමන්ගේ පූජා වට්ටි විකිනීමට ඔවුන් පොර කන්නේ කාක්කන් මෙනි. ඔව්න්ගෙන් බේරී යාමනම් පහසු දෙයක් නොවේය. දේවාලයේ ඉදිරිපිට කසල ගොඩවල් දුටු මට සිතුනේ දෙවියන් නාසය වාසාගෙන දේවාලයේ වැඩ ඉන්නවා ඇත කියාය. දේවාලය ඉදිරියේ සෙරෙප්පු ගලවා තබන්නටම බැරිය. එහි සිටින සෙරෙප්පු රකින බහිරවයන් එවා තමන්ගේ ගොඩට බලෙන්ම දමා ගනී. එසේ නොවුනහොත් ආපසු එන විට සෙරෙප්පු රහත් වන්නේය.
  දේවාලය තුල පූජා වට්ටි රැගත් බැතිමතුන් පැය ගානක් පෝලිමේ ඇත. පත්තිනි දේවිය ළගට යන්නට රු 50/- ටිකට් එකක් ගත යුතුය. අප දෙවියන් වෙත යන්නේ දෙවියන්ගෙන් යමක් ඉල්ලීමටය. මෙසේ යන අපට සිදු වන්නේ දෙවියන්ට කීයක් හරි දී එන්නටය. දෙවියන් බංකොළොත් වී සිගමනට වැටි ඇත. මෙය ඉතාම කණගාටුවට කරුණකි. අප දන්නා තරමින්නම් මෙසේ මුදල් අය කරන කාන්තාවට කියන නම වෙන එකකි. පත්තිනි දේවියව මේ තත්වයට පත්කර ඇත්තේ මෙහි පාලකයන්ය. මැතිමතෙකුට කෙලින්ම දෙවියන් යැදීමට අවසර නැත. ඒ සදහා බඩ ලොකු උඩුකය නිරුවත් කපුවෙක් ඇත. අප වෙනුවෙන් දෙවියන් යදින්නේ ඔහුය. ඒ ගාථාව මට ඇසුනේ නම් මෙසේය. ‘‘ත්‍රාං තූර්ර්ං පත්තියං පත්තියං“. මං හිතන්නේ දිග ගාථාව ෂෝට් කරලා වෙන්න ඇතිය. බැතිමතුන්ට කරන්නට ඇත්තේ මේ දේව තැරැව්කරැවා කරන දේ බලා සිටීම පමණය.
   ලංකාවේ ඇති බොහෝ දේවාල වල තත්ත්වය මෙයට දෙවැනි නොවන බව ඔබ හොදින්ම දන්නවා ඇත. සමහර විට මේ ලොකයේ හෝ විශ්වයේ යම් තැනක දෙවියන් යයි අප සංකල්පමය ලෙස විශ්වාස කරන අය සිටිය හැකිය. ඒ ගැන හරියටම කියන්නට කරම් සාධක අපට නැත. ගෙදරම දෙමාපිය දෙවියන් සිටින විට වෙනත් දෙවියන් සොයා යන අප කොයි තරම් මේ දේව සංකල්ප වලින් මුළා වී ඇත්දැයි පසක් වනු ඇත. මේවා දේවාල මුදලාලිලාගේ හොද ආදායම් මාර්ග වන්නේය. දෙවියන් යනු පින් රැස් කිරීමේ හැකියාවක් නැති අසරණයින් පිරිසකි. එබැවින් මිනිසුන් යම් පිනක් සිදුකළ විටක දෙවියන්ට පින් අනුමොදන් කරති. දෙවියන් මිනිසුන්ගෙන් පින් ඉල්ලා හිගමනේ එන විට මිනිසුන් දෙවියන්ගේම පිහිට පතති. එවැනි මිනිසුන්ට නම් දෙවියන්ගේම පිහිට තමයි.
   කතරගම දෙවියන්ද මේ ප්‍රධාන දේවාලයට පසෙකින් වූ අට්ටාලයක වැඩ හිදී. උන් වහන්සේ ළගට යන්නටනම් මෝර්ටීන් ස්ප්‍රේ එකක් රැගෙන යා යුතුය. ඒ තරම්ම අපිරිසිදුය මැස්සන් පිරී ඇත. එතැන සිටින තැරැව් කරුවාද පෙරේතයෙකු මෙනි. එතැනටද අනිවාර්යයෙන්ම පූජා වට්ටියට පඩුරු අවශ්‍යයම වෙයි. කතරගම දෙවියන් තබා පෙරේතයෙක්වක් එතැනනම් වැඩ ඉන්නේ නැත. මේ දේවාලයේ පාලකයන්ගේ එකම පරමාර්ථය මුදල් ඉපයීම පමණි. දේවාලය හෝ ඒ අවට පිරිසිදුව පවත්වා ගැනීම ගැන නම් කිසිම අවධානයක් නැති සේය.
    මේ අතර තවත් අපූරු වූ දේවාලයක් ඇත. එහි වැඩ හිදින දෙවියාට නම් බැලු බැල්මටම කෙළවී ඇති සෙයක් පෙනේ. දිව එලියට පැන ඇත. ඇස් එලියට පැනීමට ඔන්න මෙන්න වාගේය. කව්ද මේ? බැලින්නම් කාලි අම්මාය. තමන්ගේ තරහ කරුවන්ට කෙලවන්නට කාලි අම්මාට භාර බදින පිරිසනම් අති විශාලය. සිංහල හමුදාව ප්‍රභාකරන්ව මරා දැමීමට මේ තරම් වෙර දැරුවේ බොරුවටය. යුද්ධයට මේ තරම් මුදල් හා ජීවිත පුද කලේද බොරුවටය. මුන්නේශ්වරම් පුද බිමට පැමිණ කාලිට කීවානම් ප්‍රශ්ණය ඉවරය. මෙතරම් අන්ධ භක්තිකයින් සිටින රටක් තවත් තිබේද යන්න සැක සහිතය.
   මෙවර ඒ මග දෙපස ඉදිකර තිබූ කඩ සදහා එක් අඩියකට රු 3000/-ක මුදලක් ඒ වෙළදුන්ගෙන් අය කර කිබුනි. මේ එකතු වන විශාල මුදල් කන්දරාවෙන් හලාවත නගරය සිංගප්පූරුවක් කිරිමට එතරම් අපහසු නොවනු ඇත. කලින්නම් මේ මුදල් ගැලුවේ කොටින්ටය. දැන් මේ මුදල් ගලන්නේ කොහාටද?
   දෙවියන් හෝ දේව සංකල්පය ගැන මා විවාද නොකරමි. මේ ලිපිය නිසා යම් අයෙකුගේ හිත රිදුනේ නම් හෝ අපහසුතාවයකට පත් වුනි නම් අවංකවම මා සමාව අයදිමි. මහජනයාගේ මුදල් සොරකමක් ලෙස නොහැගෙන පරිදි මෙසේ සොරකම් කිරීමට දේවාල මුදලාලිලාට ඉඩ දී බලා සිටින්නට නොහැක. දේව ප්‍රතිමාවක් පෙන්වමින් මහජනයාගේ අකලංක වූ දේව භක්තිය ගණිකා වෘතියේ යොදවන්නට මේ අයට ඉඩ දීම සාධාරණද?

5 comments:

  1. මචං උඹේ කටේ මසුරන් දාන්න වටින කතාවක් මේක.ගෙදර පිදිය යුතු දෙවියන් දෙනමක් වැඩ ඉන්නැද්දි අපේ මිනිස්සු නොපෙනෙන බලවේග පස්සෙ ගිහින් නිකන් මුදලුත් කාලයත් විනාස කර ගන්නවා.ඔවුන් දෙයියො නෙමෙයි යක්කු.එකාට මූනු දහය දොලහ තියනවා.අතුත් පළොවක් විස්සක් විතර තියනවා.අපේ උනුත් මුන් ඉස්සරහ දිගාවෙලා ඉතින් ඉල්ලන එකම තමා වැඩේ.නැත්තන් කාට හරි කෙළ වෙයන් කියල පොල් ගහනවා.නොදකින් මෙහෙම උන්.

    ReplyDelete
  2. kiyala vedak nee.machan .supiri kathawa.elama thama.

    ReplyDelete
  3. ube lipiya ela machan.... aththatama math ube oya kathawata ekagai...

    ReplyDelete
  4. මේ වගේම දොස්තර දෙවි වරුන් ගැන ලිපියක් අද හෙටම ලියනවා.

    ReplyDelete
  5. දොස්තරලා ගැන මම මගෙ බ්ලොග් එකෙ මුලින්ම ලිපියක් ලිව්වා, මම දොස්තරලා හැමොවම පිළිගන්නෙ නැහැ, කරුණාවක් දයාවක් නැති දොස්තර කෙනෙකුගෙන් මෙලොවට ඇති වැඩක් නැහැ,
    එක රජකෙනෙක් යුද්ධයකදි මැරුණු මිනිසුන්ව පුච්චන්න හදද්දි රාජ පුජකයා ඇවිල්ල කියනවා, දෙවියො කොප වෙවී මෙ දවස්වල මිනි පුච්චන්න එපා කියලා. එතොකොට මෙ රජතුමා කියනවා," මෙ මිනි පිච්චිවෙ නැත්තම් රොග පැතිරිලා තව මිනිසුන් මැරෙන්න පුළුවන්, මම මෙ දෙ පිච්චුවෙ ඇයි කියලා දෙවියො තෙරුම් ගනි, එයාට තෙරුම් ගන්න බැරිනම් එයා දෙවියො නෙමේ" කියලා.

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.